1977 වසරේ සැප්තැම්බර් 5 වැනිදා ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් අභ්‍යවකාශයට මුදා හරින ලද ‘වොයේජර් 1’ රොබෝ යානය, මානව ඉතිහාසයේ මෙතෙක් නිර්මාණය කළ අතිවිශිෂ්ටම විද්‍යාත්මක මෙවලම ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. අප සෞරග්‍රහ මණ්ඩලයේ වායු යෝධයන් ලෙස සැලකෙන බෘහස්පති සහ සෙනසුරු ග්‍රහලෝකවල සැඟවුණු රහස් සොයා යාම මෙහි මූලික අරමුණ විය.
එම ග්‍රහලෝකයන්හි අතිශය දුර්ලභ දත්ත සහ ඡායාරූප පෘථිවියට එවමින් සිය ප්‍රධාන මෙහෙයුම සාර්ථකව අවසන් කළද, ‘වොයේජර් 1’ සිය ගමන නතර කළේ නැත. එය අදටත් නිමක් නැති විශ්වයේ ඈත කෙළවර සොයා නොනවතින චාරිකාවක නිරත වෙමින් සිටී.
අප සෞරග්‍රහ මණ්ඩලය යනු සූර්යයා කේන්ද්‍ර කොටගත් දැවැන්ත පද්ධතියකි. බුධ, සිකුරු, පෘථිවිය, අඟහරු, බෘහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ප්‍රධාන ග්‍රහලෝක අටට අමතරව වාමන ග්‍රහලෝක, චන්ද්‍රයන් සිය ගණනක්, ග්රහක පටියක්, උල්කාපාත සහ ධූමකේතු රැසක් මීට අයත් වෙයි.
මෙම සෞරග්‍රහ මණ්ඩලයේ සීමාව ලෙස සැලකෙන්නේ සූර්යයාගෙන් නිකුත් වන සූර්ය සහ චුම්බක ක්ෂේත්රයේ බලපෑම අවසන් වන ‘හීලියෝපෝස්’ නමැති සීමා කලාපයයි. ඉන් ඔබ්බෙහි ඇති අනන්ත අවකාශය විද්‍යාඥයන් හඳුන්වන්නේ ‘අන්තර් තාරකා අවකාශය’ යනුවෙනි.
බෘහස්පති සහ සෙනසුරු ගවේෂණයට පමණක් සැලසුම් කළ ‘වොයේජර් 1’, 2012 වසරේ දී සූර්යයාගේ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම මිදී හීලියෝපෝස් කලාපය පසු කරමින් අන්තර් තාරකා අවකාශයට පිවිසි පළමු මිනිස් නිර්මාණය බවට පත් විය.
ඔබ මේ ලිපිය කියවන මොහොතේදීත්, එය පෘථිවියේ සිට කිලෝමීටර බිලියන ගණනක් ඈතින් පිහිටි විශ්වයේ ඝන අඳුර කපාගෙන ඉදිරියට ඇදෙමින් පවතී. එපමණක් නොව, ඊයේ නොවැම්බර් 18 වැනිදා ‘වොයේජර් 1’ තවත් ඓතිහාසික ලෝක වාර්තාවක් පිහිටුවීය. ඒ, පෘථිවියේ සිට ‘ආලෝක දිනක’ දුරක් ගමන් කළ පළමු මිනිස් නිර්මාණය බවට පත්වෙමිනි.
විශ්වයේ පවතින අතිවිශාල දුර ප්‍රමාණයන් සාමාන්‍ය කිලෝමීටරවලින් මැනීම ප්‍රායෝගික නොවන නිසා විද්‍යාඥයෝ ‘ආලෝක වර්ෂය’ නම් ඒකකය භාවිත කරති. මෙය කාලය මනින ඒකකයක් නොව, දුර මනින ඒකකයකි. ආලෝකය තත්පරයකට කිලෝමීටර 300,000ක පමණ (තත්පරයකට පෘථිවිය වටා හත් වතාවකට වඩා ගමන් කළ හැකි) අතිශය වේගයකින් ගමන් කරයි. ඒ අනුව, ආලෝකය පෘථිවි වර්ෂයක් (දින 365ක්) තුළ ගමන් කරන මුළු දුර ප්‍රමාණය ‘ආලෝක වර්ෂයක්’ ලෙස හැඳින්වේ.
මෙම සංකල්පය තේරුම් ගත් විට අපට විශ්වය පිළිබඳ අපූරු සත්‍යයක් වැටහේ. එනම්, අප රාත්‍රී අහස දෙස බලන විට දකින්නේ තාරකාවල වර්තමාන ස්වරූපය නොව, ඒවායේ අතීතය බවය. උදාහරණයක් ලෙස, සූර්යයාට පසු පෘථිවියට ආසන්නතම තාරකාව වන ‘ප්‍රොක්සිමා සෙන්ටවරි’ පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ 4.2ක් ඈතිනි.
ඉන් අදහස් වන්නේ එම තාරකාවෙන් නිකුත් වන ආලෝකය පෘථිවියට ළඟා වීමට වසර 4කට අධික කාලයක් ගත වන බවත්, අද අප දකින්නේ එම තාරකාවේ වසර 4කට පෙර පැවති ස්වරූපය බවත්ය.
එසේ නම් ‘ආලෝක දිනයක්’ යනු කුමක්ද? ආලෝකය පැය 24ක කාලයක් තුළ රික්තයක් හරහා ගමන් කරන මුළු දුර ප්‍රමාණය ආලෝක දිනයකි.
ගණනය කිරීම්වලට අනුව එය කිලෝමීටර බිලියන 25.9ක් පමණ වේ. පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර ආලෝක මිනිත්තු 8 යි තත්පර 20 කි. යම් හෙයකින් සූර්යයා මේ මොහොතේ නිවී ගියහොත්, අපට ඒ බව දැනගන්නට ලැබෙන්නේ මිනිත්තු අටක් සහ තත්පර 20 කට පසුවය.
‘වොයේජර් 1’ යානය මේ වන විට පෘථිවියේ සිට කිලෝමීටර බිලියන 25.9කට ආසන්න දුරක් ගෙවා ඇති බැවින්, පෘථිවියේ සිට නිකුත් කරන රේඩියෝ පණිවිඩයක් යානය වෙත ළඟා වීමට සම්පූර්ණ පැය 24ක් හෙවත් එක් දිනක් ගත වේ.
1980 දී සෙනසුරු ග්‍රහයා අසලින් පියාසර කිරීමෙන් පසු අන්තර් තාරකා අවකාශයට පිවිසි ‘වොයේජර් 1’, මේ වන විට පැයට කිලෝමීටර 58,000ක (පැයට සැතපුම් 36,000ක) අධික වේගයකින් ගමන් කරයි. කෙසේ වෙතත්, විශ්වයේ විශාලත්වය කොතරම්ද යත්, මෙම වේගයෙන් ගමන් කළද ‘වොයේජර් 1’ යානයට සම්පූර්ණ ‘ආලෝක වර්ෂයක’ දුරක් ගෙවා දැමීමට තවත් වසර 18,000ක් පමණ ගතවනු ඇත.
වෙනත් තාරකාවක් අසලට ළඟා වීමට වසර 36,000කට අධික කාලයක් ගතවන බව විද්‍යාඥයන්ගේ ඇස්තමේන්තුවයි.
ප්ලූටෝනියම් බලයෙන් පණ ගැන්වෙන ‘වොයේජර් 1’ යානයට ‘වොයේජර් 2’ නමින් නිවුන් සොයුරෙක් ද සිටී. නාමකරණයේදී ‘2’ වුවද, ‘වොයේජර් 2’ අභ්‍යවකාශ ගත කෙරුණේ ‘වොයේජර් 1’ යානයට දින 16කට පෙර, එනම් 1977 අගෝස්තු 20 වැනිදාය. බෘහස්පති සහ සෙනසුරුට අමතරව යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝකද ගවේෂණය කළ එකම මිනිස් යානය වන්නේ ‘වොයේජර් 2’ යානයයි.
2018 වසරේදී හීලියෝපෝස් සීමාව පසු කළ ‘වොයේජර් 2’, පෘථිවියේ සිට ආලෝක දිනක දුරට ළඟා වනු ඇත්තේ 2035 වසරේදීය.
අනාගතයේ යම් දිනෙක ඈත විශ්වයේ බුද්ධිමත් ජීවීන් හමුවුවහොත්, ඔවුන්ට පෘථිවිය සහ මානව ශිෂ්ටාචාරය හඳුන්වා දීම සඳහා වොයේජර් 1 සහ 2 යානා දෙකෙහිම ‘රන් තැටියක්’ තැන්පත් කර තිබේ. සුප්‍රකට තාරකා විද්‍යාඥ කාල් සේගන් ප්රමුඛ කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද මෙය, අඟල් 12ක විෂ්කම්භයකින් යුත් රන් ආලේපිත තඹ ග්රැමෆෝන් තැටියකි.
පෘථිවියේ ස්වභාවික හඬවල් (සුළඟ, ගිගුරුම්, සතුන්ගේ නාද), විවිධ සංස්කෘතීන්ට අයත් සංගීත නිර්මාණ, මිනිස් සිරුරේ ව්‍යුහය හා විද්‍යාව දැක්වෙන ඡායාරූප 115ක් මීට ඇතුළත්ය. සුවිශේෂීම කරුණ නම්, මෙහි අඩංගු භාෂා 55ක සුබ පැතුම් අතරට සිංහල භාෂාවෙන් පටිගත කළ “ආයුබෝවන්! ඔබ සැමට සුබ අනාගතයක් වේවා!” යන පණිවිඩය ද ඇතුළත්ව තිබීමය. තැටිය වාදනය කරන ආකාරය සහ පෘථිවිය පිහිටි ස්ථානය සොයා ගන්නා ආකාරය දැක්වෙන විද්‍යාත්මක සංකේත එහි ආවරණයේ කොටා ඇත.
දශක පහකට ආසන්න කාලයක් අභ්‍යවකාශයේ අතිශය කටුක පරිසරයක සැරිසැරුව ද, මෙම යානා දෙකම තවමත් දිනපතා පෘථිවියට වටිනා දත්ත එවමින් සිටීම විස්මයජනකය. අන්තර් තාරකා අවකාශයේ චුම්බක ක්ෂේත්‍ර, විකිරණ සහ අභ්‍යවකාශ දූවිලි පිළිබඳව මිනිසාට ලැබෙන එකම සෘජු තොරතුරු මූලාශ්‍රය මෙයයි. නාසා ඉංජිනේරුවන් පිරිසක් සතියකට වරක් පමණ යානා වෙත විධාන නිකුත් කරමින් ඒවා පාලනය කරති.
කෙසේ වෙතත්, පසුගිය ඔක්තෝබර් මාසයේදී ‘වොයේජර් 1’ යානය සමග පැවති සන්නිවේදන සබඳතා කෙටි කාලයකට බිඳ වැටුණු අතර, එම තාක්ෂණික දෝෂයට නිශ්චිත හේතුව සොයා ගැනීමට ඉංජිනේරුවෝ තවමත් වෙහෙසෙති. මිනිස් අතකින් නිමැවී විශ්වයේ අනන්තය වෙත පියාසර කරන මේ කුඩා යානා දෙක, කවදා හෝ පෘථිවිය විනාශ වී ගියද, විශ්වය තුළ මානව වර්ගයා ජීවත් වූ බවට සාක්ෂි දරන සදාතනික ස්මාරකයක් ලෙස අභ්‍යවකාශයේ රැඳී සිටිනු ඇත.
ලුසිත ජයමාන්න
ස්තුතිය - NASA
